දෙවියනි ඔබ කොහිද?

විහාරමහා දේවි උද්‍යානයේ පැවැති යාඥ මෙහෙයකට පැමිණි රෝගී කාන්තාවන් දෙදෙනකු මිය යැමේ පුවතක්‌ ඉකුත් සඳුදා (02 දා) වාර්තා විය.  මේ යාඥ මෙහෙයේ අරමුණ දේව හාස්‌කමින් රෝග සුව කිරීම බව කියනු ලැබේ. මේ සිද්ධියට අමතරව බත්තරමුල්ලේ කොස්‌වත්ත ප්‍රදේශයේ පවත්වන ලද මෙවැනිම යාඥ මෙහෙයකට සහභාගි වූ කාන්තාවක්‌ ඒ මෙහෙය අතරතුරදී වෙවුලන්නට පටන්ගෙන රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියාය.

ලෙඩ සුව කර ගැනීමට දොස්‌තරවරයකු හෝ වෙද මහතකු වෙත නොගොස්‌ විවිධ
දේවගැතිවරුන් සහ පූජකයන් සමග යාඥ කරමින් සිට මියගිය සංඛ්‍යාව ඉකුත් වසර 05 තුළ සැලකිය යුතු ආකාරයෙන් ඉහළ ගියේය. ඒ මළමිනී ගොඩට ගෙන ඒවා එකින් එක ගැන මරණ පරීක්‌ෂණ පැවැත්වීමේ අදහස අප තුළ නැත. රෝගයක්‌ වැළඳුනු විට දෙවියන්ට බෙහෙත් අවශ්‍ය නැත. (නැතහොත් දෙවියන්ට රෝග වැළඳෙන්නේ නැත.) එහෙත් මනුෂ්‍යයන් වූ අපට රෝගයක්‌ වැළඳුනු විට බෙහෙත් අත්‍යවශ්‍යය. රටපුරා රෝහල්, වෛද්‍ය මධ්‍යස්‌ථාන සහ සායන දහස්‌ ගණනක්‌ ආණ්‌ඩුවේ වියදමින් පිහිටුවා ඇත්තේ මේ කාරණය පිණිසය. ඒ අතර විශ්ව ශක්‌තියෙන් ලෙඩ සුව කිරීම, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් මගින් ලෙඩ සුව කිරීම, මළයාලි වශී ගුරුකම් සහ භෞතික නිර්වචනවලට අසු නොවන ක්‍රම මගින් ලෙඩ සුව කිරීම මේ දිනවල යහමින් දැක ගත හැකිය. යාඥ මගින් ලෙඩ සුව කිරීමද මෙවැන්නකි. මෙයද අතට හසු නොවෙයි. මෙහි බෙහෙත් නැත. ශුද්ධ වූ ජලය, මතුරන ලද තැඹිලි වතුර යනාදිය මෙයට අඩංගුය. ලෙඩා පණ අදින විට පවා ඔහු රෝහලකට රැගෙන නොගොස්‌ දිගින් දිගටම යාඥ කිරීම මෙහි ලක්‌ෂණයකි. අන්තිමේදී ලෙඩා මළ විට ඔහුගේ හෝ ඇයගේ ආත්මය දෙවියන් විසින් රැගෙන යනු ලැබ ඇතැයි ප්‍රකාශයට පත් කරනු ලැබේ. එහෙත් මිනිය කපා බැලූ විට හෙළි වන්නේ උත්සන්නවූ රෝගයට ප්‍රතිකාර නොකළ බැවින් මරණය සිදු වී ඇති බවය.


විද්‍යාවට සියලු දෙයම හසු කර ගත නොහැකි බව අපි පිළිගනිමු. මරණින් මතු ජීවිතය, ගන්ධබ්බ කාලය, ආත්මවාදය වැනි කරුණු අදටත් අභියෝගයට ලක්‌ කළ නොහැක. එහෙත් කෙනකු අසනීප වූ විට හාස්‌කම් පිළිබඳ අවදානමක්‌ නොගෙන ලෙඩා රෝහල්ගත කරන්නේ නම් ඔහුට තවදුරටත් ජීවත්වීමට හැකි වනවා ඇත. යාඥ මෙහෙයකදී කෙනෙකු මියගිය විට එය එම මෙහෙය සිදුකළ ආගමික නිකායටද ඉතා නරක ලෙස බලපායි. විහාරමහා දේවි උයනේදී මෙන්ම බත්තරමුල්ලේ කොස්‌වත්තේදී වූ
මරණවලින් පෙනී යන්නේ දේවගැතිවරුන් සහ බැතිමතුන් සහභාගි වුවද එම යාඥ මෙහෙයට දෙවියන් ඊට සහභාගි වී නැති බවය.